හිමි නොවන ප්‍රේමයක්

 හිමිනොවන ප්‍රේමයක් 

අතර මඟ හමුවෙලා 

ලියාදුන් ආත්මය 

අද ඇතත් ගල්වෙලා

නලළතම ඇදි හාදු 

ඉඩෝරෙට වියලිලා 

උණුහුමක් විතරක්ම

මතකයක ලියවිලා


සංසාරේ අපි එකට 

උන්නු බව නුඹ කිව්වා

සියවරක් නොවේ එය 

දහස්වර මං පැතුවා

ඊටත් දෙවැනි නැති

වේදනා අද ඇතුවා

තනිකමට හුරු දෙනෙත්

ගැඟුම් දියකර දැමුවා


පිටු ගනන් පොත්වල 

නුඹ ගැනම ලිව්වට 

පපු අස්සේ හිර කරන් 

අපේ පෙම රැක්කට 

ලද ඇසිල්ලක හනික 

දුරක නුඹ දිව්වට 

නෑනේ අමතක අදත්

හිත පහුරුගෑවට 


තරු දකින හැම රෑම 

නුඹ ආවා මතකෙට

වැහි පොදක සැඟවිලා

සිතම නුඹ තෙමුවට 

හිරු සඳුට සමකරන් 

අපි ගැනම  ලිව්වට

නෑ කිසිත් සමවුනේ

නුඹේ මේ වෙනසට

කවියක සවිය 3



මේ වනවිට අපි මූලික වශයෙන් සඳැස් කවිය යනු කුමක්දැයි හඳුනා ගත්තෙමු. අද එතැන් සිට..


කවිය සහ කාව්‍ය රීති

**********************

සඳැස් කවිය තුල රීති පද්ධතියක් ඇත. මූලික වශයෙන්ම මාත්‍රා, එළිවැට, යතිය, එළිසමය, යවහන් දෝෂය, දශමහ දෝෂයන් සහ කාව්‍ය අලංකරණයට අදාල වූ යම් යම් රීතීන්ද ඇතුළුව විසල් පරාසයක මෙය විහිදී ඇත. මෙම කරුණු පිළිබඳව මනාව තේරුම් ගැනීම නිවැරදි කවියකට මග හෙළි කරනු ඇත.


මාත්‍රා

*****


මාත්‍රාවක් යනු ඇසිපිය ගසන ක්ෂණයක කාලයකි. එනයින් මාත්‍රාවක් යනු පිල්ලමක් ලෙසද හැඳින්වේ. හල් අකුරක ඇත්තේ මාත්‍රා බාගයකි. දීර්ඝව ශබ්ද නොවන ස්වරයන් ලඝු වන අතර දීර්ඝව ශබ්ද වන ස්වරයන් ගුරු නම් වේ. සංස්කෘත භාෂාවෙහි දීර්ඝ අක්ෂරයකට වඩා ඇදලා කියවන අකුරුවලට ප්ලූත යැයි කියනු ලබන අතර මෙයට අක්ෂර රූපයක් නොමැතිය. ඒ ශබ්ද කිරීමේ කාලය අනුව පවතී. දුර සිටින්නන්ට කතා කිරීම, ඇඬීම සහ ගායනයේදී ව්‍යවහාර කරනු ලැබේ. භ්‍රසවයක් නොහොත් ලඝුවක් ශබ්ද කිරීමට ගතවන කාලය මාත්‍රාවකි. දීර්ඝ ස්වරයක් නැතහොත් ගුරක් ශබ්ද කිරීමට ගතවන කාලය මාත්‍රා දෙකකි. එය ප්ලූතයකට මාත්‍රා තුනකි.


ව්‍යංජනයක් නොහොත් හල් අකුරක් එක්වන ස්වරය අනුව එහි ලඝු ගුරු තීරණය වේ.


* ලඝු


අ, ඇ, ඉ, උ, එ, ඔ, යන ස්වරයන් සහ එම ස්වරයන් ව්‍යංජනයක් සමග එක් වීමේදී සෑදෙන රූපකය භ්‍රසවයක් නොහොත් ලඝුවක් වේ. උදාහරණ ලෙස මෙම ස්වරයන් "ක්" යන ව්‍යංජන අක්ෂරය සමග සම්බන්ධ වීමේදී සෑදෙන අක්ෂර පිළිබඳව සලකා බලමු.


ක් + අ = ක

ක් + ඇ = කැ

ක් + ඉ = කි

ක් + උ = කු

ක් + එ = කෙ

ක් + ඔ = කො


මෙම අක්ෂර දීර්ඝව ශබ්ද නොවේ. එනයින් මෙම ශබ්දවලට ඇත්තේ එක් මාත්‍රාවක් පමණි. එමනිසා, මෙලෙස වරනැගෙන සියළුම කෙටි අක්ෂර රූපයන් ලඝු අකුරු ලෙස හඳුන්වනු ලබයි.


* ගුරු


දීර්ඝව කියවෙන ස්වරයන් සහ එම ස්වරයන් හල් අකුරක් හා සම්බන්ධ වීමෙන් සෑදෙන අක්ෂරවලට අපි ගුරු යැයි කියමු. ආ, ඈ, ඊ, ඌ, ඒ, ඕ  යන ස්වර "ක්" යන ව්‍යංජන අක්ෂරය හා සම්බන්ධ වන අයුරු විමසා බලමු. 


ක් + ආ = කා

ක් + ඈ = කෑ

ක් + ඊ = කී

ක් + ඌ = කූ

ක් + ඒ = කේ

ක් + ඕ = කෝ


මෙම අක්ෂරයන් ඇදලා කියවිය යුතු වන අතර එම දීර්ඝ බව නිසාවෙන් මේවා ගුරු අක්ෂරයන් වන අතර කියවීමේදී මාත්‍රා දෙකක කාලයක් ගනී. මෙසේ දීර්ඝව වරනැගෙන අක්ෂරයන් ගුරු අක්ෂර ලෙස හඳුන්වනු ලබයි.


* හලන්ත ගුරු


හල් අකුරකට ඇත්තේ මාත්‍රා බාගයකි. එය ලඝු අක්ෂරයක් අගට  සම්බන්ධව වරනැගෙනුයේ, හල් අක්ෂරයක් නොඑසේනම් මළකුරක් තනිව වරනැගිය නොහැකි නිසාවෙනි. මෙලෙස එක්වන අකුරු ද්විත්වය හලන්ත ගුරු ලෙස හඳුන්වනු ලබයි. මෙලෙස එක්වන අක්ෂර ද්විත්වය තුළ ඇත්තේ මාත්‍රා එකහමාරක් වුවද එය මාත්‍රා දෙකක් ලෙසට ගනන් කරනු ලැබේ. 


උදාහරණ :-  අත්, මල්, ගල්, සිල්, දැල්, පොල්, හෙල් 


ශුද්ධ සිංහලයෙහි බිංදුව, ඤ් ණ්,න්,ම් යන ව්‍යංජනයන්ගේ බාගයන් ලඝුවක් හා සම්බන්ධ වූවිට එය ගුරක් ලෙස නොගැනේ.


උදාහරණ ලෙස


ඞ යන්නෙහි බාගය + ග = ඟ

ඤ් යන්නෙහි බාගය + ජ = ඦ

ණ් යන්නෙහි බාගය + ඩ = ඬ

න් යන්නෙහි බාගය + ද = ඳ

ම් යන්නෙහි බාගය + බ = ඹ


මෙවැනි අවස්ථාවන්හිදී එම අක්ෂරයන්ගේ ඇදෙන ස්වභාවයන් නොමැති බැවින් ලඝු ලෙසටම මාත්‍රා එකක් ලෙසින් ගනන් කරනු ලැබේ. එමෙන්ම සිංහල බසෙහි අක්ෂර සංයෝජනය සිදුවනුයේ තම වර්ගයේම අක්ෂර සමග පමණකි. (ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය - නම් වූ අක්ෂර වර්ගයන් පිළිබඳව පසුව ඉගෙනගනිමු.)


සඳැස් කවියක් යනු යම් රිද්මයකට ගායනා කළ හැකි රචනයක් නිසාවෙන් මාත්‍රා පිළිබඳව සැළකිලිමත්වීම අත්‍යාවශ්‍ය කරුණකි. සිවුපද කවියක සෑම පාදයකම මාත්‍රා ගණන සමාන විය යුතුය. සිවුපදයක පළමු සහ තෙවන පාද (පේලි) විෂම පාද ලෙසත් ද්විතීයික සහ සිවුවන පාද (පේලි) සමපාද ලෙසත් සලකනු ලැබේ. එමෙන්ම මෙම මාත්‍රා පිහිටීම අනුව සඳැස් කවිය ඡන්දස් හා වෘත්ත අනුව විභාග කර ඇතත් ඒ පිළිබඳව විස්තර කිරීම පසුවට තබමි. 


උදාහරණ


සෙවණැලි මියෙන විට ගත රැඳි වෙහෙස    නිවා

අඹරෙහි කැකුළු තරු හිනැහුනි දෙනෙත පොවා

සුදු මුදු වලා කැටි අතරෙහි වෙමින               මුවා

දුටුවෙද සඳවතිය දිලිසෙනු කිරණ               දොවා


සෙවණැලි - ලඝු හතරකි. මාත්‍රා 4

මියෙන විට - ලඝු පහකි - මාත්‍රා 5

ගත රැඳි - ලඝු හතරකි - මාත්‍රා 4

වෙහෙස - ලඝු තුනකි - මාත්‍රා 3

නිවා - ලඝු 1, ගුරු 1 - මාත්‍රා 3


එවිට පාදයේ සම්පූර්ණ මාත්‍රා ගණන දහනවයකි. මේ ආකාරයට ගණනය කර බලන්න. සෑම පාදයකම මාත්‍රා දහනවය බැගින් තිබෙනු ඔබට දැකගත හැකිය. 


 කවියක පද පෙළෙහි  මාත්‍රා ගණන උපරිමය මේ යැයි නිශ්චිත නොවූවද මාත්‍රා 32ට වඩා දිගු කවි විරලය. එයට හේතුව ගායනා කිරීමේදී ඇති අපහසුතාවය විය හැකිය.


නමුදු මෙම සෑම පෙළකටම පොදු වශයෙන් සමාන මාත්‍රා ගණනක් වූ රටාව අතික්‍රමණය කල අවස්ථාවන්ද අපට දැකගත හැකිය.


උදාහරණයක් ලෙස වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය පුරා මෙය දැකගත හැකිය.


බරණැස් නුවර                         සිට

උදේනි නම්                          නුවරට

පුරා බඩු ගැල්                            පිට

රැගෙන ගියෙ වෙළෙඳු වෙළදාමට 


අඳ මව්පිය                  දෙදෙන

ඔහු වයන බව නොම     දැන

කතී වෙණ                   මීයෙන

සු සූ යයි අත ගැසූ සැකයෙන


බලන්න, පළමු සහ තෙවන පද පෙලෙහි මාත්‍රා ගණන නවයකි.  දෙවන පෙළ සහ අවසන් පෙළ මාත්‍රා එකොළසකින් සහිත  දහහතරකින් සමන්විතය. මෙය පිහිටි නම් ඡන්දසට අයත්ය.


අමුණන විටදි සිවුපදයට පෙළ            අකුරු 

දැනගත යුතුය සම මත් එක්කළ          අයුරු

එලෙසට නොවන කල ගැයුමට වෙයි හතුරු

සැමවිට ලියනු පද සරසවියට              මිතුරු


තවත් කොටසකින් නැවත හමුවෙමු.


===❤️ ජීවන සරසවිය ❤️===ඊ.ආර්. ජගත් කුමාර ==

වියළිලා ගිය පිණි බිංදු


 සඳ දැකෙකේ නැති 

 තරුත් අද ඇති


හිරු දැක්කේ නැති 

ගස්කොළත් වෙති


සඳු ඉම්බේ නැති

වලාකුළු අහසේ ඇති


හිරු එලි නොවිදි

මල් පිපී හිනහෙති


සඳු නොදුටු සාවී

කොහේ සැගවෙන්නැති


හිරු නොදුටු පිණිබිඳූ

වියැලිලා යන්නැති


නපුරි


 දිස්නේ දෙන ආදරේ නැති වුනත් 

වතාවක් 

නපුරු කමකින් වහගත්තා ඇගේ 

ඒ කතාවක්

ගැහෙන හිත හංගගෙන රළු වෙච්ච 

හිනාවක්

ගැහැණු තනියම තැවුනා පැරදිලා වතාවක්


රූස්ස ගස් වාගේ දරාගත්තා වංගියක්

නැගෙන පෙම බුරු බුරා හැංඟුවා කතාවක්

කොන්දේසී දාගෙනම තමන්ටම නීතියක්

ඇයත් හැඩුවා රෑට දැක්කෙ නෑ කිසිකෙනෙක්


හිත ඉරා කීතූ ගා දාන්නට සිතෙනැති

තියුණු දෙනෙතේ බැල්ම ඒ හින්දා රිදෙන්නැති

දරඳඩුව ගැහැණු හිත් ඉරක් සේ දිලෙන්නැති

නොතේරුන හින්දාම ලෝකයක් බනින්නැති


දරාගෙන කාලයක් සෙනේ දුන්නා මහමෙර ලෙසින් 

පෙම්වතිය ලෙසින් හිනහී ඇයත් උන්නා ලගින්

කොන්දේසී දමාගෙනම ඔවුන් ගිය හැටි බලන්

බිහිවුනා ගැහැනියක් දුක පපුව හිරකරන් 


සොඳුරු සිනහව කොහෙද ඇයත් හංගන්න ඇති

නපුරු කම් හිත අස්සේ බලෙන් බිහිකරන්නැති

ගෝරෝසුම හිත් වලත් ආදරේ තියෙන්නැති

අයිති නැති කතාවක ඇයත් මියැ දෙන්නැති

කවියක සවිය 2

 



දෙවන කොටස

###########


පසුගිය සටහනින් ඔබ කවිය යනු කුමක්ද? කවියාගේ සමාජමය කාර්‍යභාරය කුමක්ද? යන්න පිළිබඳව දළ අදහසක් ලැබෙන්නට ඇති. අද එතැන් සිට..........


ලෝකයේ ඕනෑම ප්‍රපංචයක් විවිධ වූ වර්ගීකරණයට ලක් වනවා සේම කවිය සහ කවියාද වර්ගීකරණයට ලක් වේ. කවිය වර්ගීකරණයේදී කවියේ ස්වභාවය මතත්, කවියා වර්ග කිරීමේදී ඔහුගේ දක්ෂතාවය මතත් වර්ගීකරණයට ලක් වේ.


හෙළ කවිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක⁣ට බෙදේ. 


01. චූල සම්ප්‍රදායයේ කවි

02. මහා සම්ප්‍රදායයේ කවි


චූල සම්ප්‍රදාය

*************


මේවා ඉතාම සරල ඝණයේ කවි වේ. එකම කවිය තුළ සරල වාක්‍ය ඛණ්ඩයන් කිහිපයක් දක්නට හැකිය. පද එකින් එක වියුක්තව පවතින අතර බොහෝවිට ජනකවි මෙම සම්ප්‍රදායට අයත් වේ. කාව්‍යකරණය පිළිබඳව දැනුමක් නොතිබුණු ගැමියා තම සිතේ පවතින අදහස් ප්‍රීතිය, දුක, භක්තිය වේවා මොනම ආකාරයේ හැඟීමක් වුව වරෙක තම පාළුව කාන්සිය මගහැරවීම උදෙසාද සිතට නැගි ආකාරයෙන් සිවුපදයට නැගීය. එනිසාවෙන්ම මෙම කවි තුල ප්‍රබුද්ධ ලක්ෂණ දකින්නට නොලැබිණ. වර්තමාන හිටිවන කවියද මෙම ඝණයට අයත් වේ. 


* කරත්ත කවි


තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා

කටුකැලේ ගාල නොලිහා වද දෙනවා

හපුතලේ කන්ද දැකලා බඩ දනවා

පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා


* පාරු කවි


ඔන්න මගේ ඔය නාමල නෙලා වරෙන් 

අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සාධුකාර දී ඔරුවක නැගී වරෙන්


* පතල් කවි


ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට

කන්නෙත් කරවලයි රට හාලේ බතට

බොන්නෙත් බොර දියයි පූරුවෙ කල පවට

යන්නේ කවදාද මවුපියො දකින්නට


* පැල් කවි


ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ

දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ

රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ

දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ


හොඳින් නිරීක්ෂණය කර බලන්න. මෙම සෑම කවියකම පද හතරෙන් අරුත් හතරක් නැතහොත් වාක්‍ය ඛණ්ඩ හතරක් ඔබට දිස්වනු ඇත. මේ ආකාරයේ කවි චූල සම්ප්‍රදායේ කවි ලෙස දැක්වේ.


මහා සම්ප්‍රදාය

**************


මහා සම්ප්‍රදායට අයත් කවි තුළ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණය වනුයේ මෙම කවියේ පද අතර වියුක්තවීමකින් තොරව අඛණ්ඩ සම්බන්ධතාවයක් පැවතීමයි. එමෙන්ම මුළු පැදිය පුරාම දක්නට ලැබෙනුයේ එකම වාක්‍ය ඛණ්ඩයක් පමණි. එමෙන්ම මෙම කවි කාව්‍ය අලංකරණ ලක්ෂණයන්ගෙන් පොහොසත් නිසාවෙන් චූල සම්ප්‍රදායයේ කවි වලට වඩා රසවත් බවකින් සහ අර්ථයෙන්ද පරිපූර්ණය. 


* සැළලිහිණිය 


පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්

පරව තඹර පෙති දිය ගිලි තලා පිටින්

තරව සිහි ඇතිව පරතෙරට යන අටින්

කරව පියාසර සකි කොන්ත ගංතොටින්

                         (තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)


* ගුත්තිලය 


අඳ මවුපිය දෙදෙන

ඔහු වයන බව නොමදැන

කතී වෙණ මීයෙන

සු සූ යැයි අත ගැසූ සැකයෙන

                        ( වෑත්තෑවේ හිමි)


* අයියනායක


සංහිඳ ලඟ බාරයට කිරි ඉතිරීම

කෙම්මුර දවස්වල පහනින් සැරසීම

කොළ අතු කඩා ගස් දෙබලක දැවටීම

මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම

                      ( විමලරත්න කුමාරගම )


* මගේ රට


තෝපා තඹලගම මිණිපේ මින්නේරී

මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී

සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී

මගෙ ලක් මෑණියන්දෑ හරි පින්කාරී

                      ( පී. බී. අල්විස් පෙරේරා )


* කොවුල් සංදේශය


රළින් දමන සිඳු සක් මුතු වෙළල මුව

දොලින් රැගෙනැ කෙළිනා පැටි ලිය සුමුව

පළින් පළ මැ ඉඳැ නරඹා සිත් යොමුව

තිළින් දිනත වදු ලැගුමට තොටුගමුව

                               ( තිලක පිරුවන් හිමි )


කවිය වර්ග කිරීමේ පිළිවෙත අනුව එය චූල සම්ප්‍රදායට අයත්ද නෙඑසේනම් මහා සම්ප්‍රදායට අයත්ද යන්න මේ නිදර්ශන ඇසුරින් ඔබට තේරුම් ගැනීමට හැකිවනු ඇත. එසේනම්, කාව්‍යකරණය හදාරා ඔබගේ මාවත මහා සම්ප්‍රදායේ කවියද, සරල පහසු එතරම් දුෂ්කර නොවන චූල සම්ප්‍රදායේ කවියද යන්න තෝරාගැනීම ඔබ සතුය.


කවියා

******


කවියාද කවියාගේ ශක්‍යතාවයන් අනුව වර්ගීකරණයට ලක් වේ. අප මහා තථාගතයාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි කවියා පිළිබඳව දේශනා කර ඇත්තේ මෙසේය. 


චතතාරො භිකඛවේ කවි

කතමෙ චතතාරො චින්තා කවි

සුත කවි අතථ කවි පටිභාන කවි

ඉමෙ ඛො චතතාරො කවීති


මේ අනුව කවීන් වර්ග හතරකි.


01. චින්තා කවි

02. සුත කවි

03. අත්ථ කවි

04. පටිභාන කවි


1. චින්තා කවි


කවියාගේ චින්තන ශක්තිය මෙහෙයවමින් අදාල ප්‍රපංචය පිළිබඳව තර්ක විතර්ක කරමින් ගොඩනගන කවි මෙම ඝණයට වැටේ.


2. සූත කවි


අනෙක් කවීන්ගේ නිර්මාණ ඇසුරු කරමින් හෝ අනුකරණය කරමින් නවතාවයක් නොමැතිව ගොඩනගන කවි සූත කවි නැතහොත් "ශ්රෝත" ඝණයට අයත් වේ


3.  අත්ථ කවි


ඇසට පෙනෙන ප්‍රපංචයන් අරමුණු කරගෙන ඒ ඇසුරින් ගොඩනගන කවි මෙම කුලයට අයත් වන අතර එහි සිතීමට හෝ අර්ථ විග්‍රහ කිරීමට දෙයක් නොමැතිය.


4. පටිභාන කවි


ඇසට නොපෙනෙන යම් දෙයක් පිළිබඳව තම සිතෙහි පහලවන්නා වූ සිතිවිලි රසික සිත තුළ ඒ ආකාරයෙන්ම චිත්ත රූප මැවෙන ආකාරයෙන් ගොඩනගන කවි මේ කුලයට අයත් වන අතර මේ සඳහා ඉහල චින්තන ශක්තියක් තිබිය යුතුවාක් මෙන්ම නිතර අභ්‍යාසයේ යෙදෙමින් පුරුදු පුහුණු කළ යුතුය.


කවියක් නිර්මාණයට පෙර වස්තු භූත වන අරමුණ හෝ සිදුවීම එසේත් නොමැතිනම් ප්‍රපංචය ඉතාම වැදගත් වේ. එමෙන්ම තම සිතෙහි හටගන්නා සිතිවිලි එළෙසින්ම කවිය තුල එබ්බවීමට කවියා සමත් විය යුතුය. මක් නිසාදයත් එය නිවැරදිව කවිය තුල ප්‍රකාශ නොවනවිට එම කවිය අසම්පූර්ණ වේ. මෙහිදී බස පිළිබඳව ඇති දැනුම අතිශයින්ම වැදගත්ය.


නිමකර කවි ලොවෙහි යාමය ගිම්හාන

මල් පල පුබුදු කර ළඟ එන      වස්සාන

සරසවි ළමැද කිරි බී තෙද         වඩවාන

කවියෙකු වෙනු මැනවි හෙළයට පටිභාන


ලබන සතියේ නැවතත් මෙලෙසින්ම හමුවෙමු.....🙏🙏


===❤️ ජීවන සරසවිය ❤️===ඩී .ආර්.ජගත් කුමාර

කවියක සවිය 1

 



කවිය යනු කුමක්ද? 


ලෝකයේ බොහෝ වියතුන් කවිය පිළිබඳව බොහෝ නිර්වචනයන් කවිය උදෙසා දී ඇති නමුදු තවමත් කවිය සඳහා නිශ්චිත වූ පූර්ණ නිර්වචනයක් ඉදිරිපත් කිරීමට කිසිවෙකු සමත්ව නැත. කවිය යනු එතරම් වූ පුළුල් විෂය පථයකි. කෙසේවතුදු, කවිය ඉගෙනීමට අතපොත් තබන ඔබගේ දැනගැනීමට සහ කවිය යනු කුමක්ද යන්න සරලව තේරුම් ගැනීම උදෙසා එසේ වියතුන් ඉදිරිපත් කළ නිර්වචනයන් කිහිපයක් ගෙනහැර බලමු.


01. රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි. -  විශ්වනාථ පඬිවරයා


02. රමණීයව අලුත් දෑ ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි . - ජගන්නාථ මුනි


03. කවිය යනු අනු සාහසිකව කලා එන ප්‍රබල හැඟීම් ය. -

විලියම් හැස්වීම්


04 - කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම ය . 

එලියට්


05. කාව්‍ය වනාහි මනුෂ්‍ය ජීවිතය පිළිබඳව සූක්ෂ්ම විවේචනයකි. කවිය මිනිසා සත්‍ය කරා ඉතා ළංකරන්නා වූ සර්ව සම්පූර්ණ භාෂණය මිස අනෙකක් නොවේ - මැතිව් අානෝල්ඩ් 


06. කාව්‍ය බුද්ධිය නොව සංකල්පනය හා ප්‍රේමය දෙසට මඟ පෙන්වයි - ජී.බී. ෂෙලී


07. කාව්‍ය වනාහි මනුෂ්‍යාගේ දැනීම, අදහස්, ආශා, මනෝභාව, භාෂා ආදී හැමෙකකුම පුෂ්පය හා සුගන්ධය වන්නේ ය - කෝල්රිජ්


08. කාව්‍ය වනාහි සෑම සභ්‍යත්වයකම සෑම සමාජයකම ඒකාකාරී ප්‍රතිපත්තියක් ඇති ප්‍රසාධක කලාවකි. කාව්‍ය එක්වරම ප්‍රීතිය හා අනුශාසනාවන් ගෙන දෙයි. එය සමාජ ජීවිතයේ අලංකරණයකි. ජාතියට මහත් ගෞරව දෙන්නකි. - ශ්‍රීමත් පිලිප් සිඩ්නි


09. පරිකල්පනයන්ගේ හා මනෝභාවයන්ගේ භාෂාව වූ කලී කවියයි - විලියම් හැස්ලිට්


10. කවිය යනු මිනිස් සන්තානයේ පාරිශුද්ධිය සමඟ එක්ව ගමන් කරන සම්භාවනීය චින්තන විශේෂයකි - පී.බී. අල්විස් පෙරේරා


11. රසවත් වූ නිවැරදි වැකිය කවියයි - කුමාරතුංග මුනිදාස


මේ ආකාරයට දහස් ගණනක් නිර්වචනයන් ඔබ වෙත ගෙනහැර දැක්විය හැකි අතර එතුලින් අපට ප්‍රකටවන කරුණක් නම් කවිය යනු කුමක්දැයි තවමත් ලෝකය හඳුනාගනිමින් සිටින වගය. මෙසේ පවසන කල ආධුනික ඔබ මදක් විමතියට පත්වනු ඇත. එමෙන්ම ප්‍රවීනයැයි කියාගන්නා බොහෝ කවියන් පවසන ආකාරයට කවිය යනු මහා බරසාර දෙයක් යැයිද එය අපට නොහැකියැයිද නිගමනයකට එනු ඇත. 


එය එසේ නොවන්නේමය.. කවිය වනාහී සරල සුන්දර ප්‍රකාශනයයි. ලෝකය සහ සමාජයත් එහි සිදුවන දෑ පිළිබඳව තත්ත්වාකාරයෙන් දැක ඒ පිළිබඳව සහෘදයා තුළ සබුද්ධික වූ හැගීම් ගොඩ නැංවීමට කරනු ලබන එක් සාහිත්‍ය නිර්මාණ විශේෂයක් ලෙස “කවිය” හැඳින්විය හැකි ය. 


සමාජය තුල සිදුවන දෑ සමාජයට ඉහලින් සිට සමාජය වෙත යථාර්ථය පෙරටුකොට ගනිමින් සම්ප්‍රේෂණය කරන්නා සාහිත්‍යධරයා වන අතර තම නිර්මාණයන් ශබ්ධ රසය පෙරටුකොට ගනිමින් රසවත්ව ඉදිරිපත් කරන්නා කවියාය.


සෙසු සාහිත්‍ය නිර්මාණ අතරින් කවිය සුවිශේෂී වන්නේ ප්‍රතිභාපුර්ණ පරිකල්පනාව තුළින් සුවිශේෂී කාව්‍ය අලංකාර යොදාගෙන නිර්මාණය කරන බැවිනි.


කවිය පිලිබඳ සර්ව සාධාරණ නිශ්චිත අරුතක් මෙතෙක් ඉදිරිපත් වී නැත. ඉන් පකටවන්නේ කුමක්ද? එනම් කවිය පිළිබඳව නිශ්චිත අර්ථකථන ඉදිරිපත් කළ නොහැකි බවයි. සැබවින් ම කවිය යනු එක් පටු අර්ථකථනයකින් අර්ථවත් කළ නොහැකි ක්ෂේත්‍රයකි. 


එහෙත් මා ඉහත ඉදිරිපත් කල මූලික අදහස් තුලින් ඔබට කවිය යනු කුමක්ද යන්න පිළිබඳව සරල නිගමනයකට එළඹිය හැකිය. එනම් කවිය යනු ලෝකයේ පවතින ඕනෑම දෙයක් වේවා, ඕනෑම සිදුවීමක් වේවා, නොඑසේනම් මිනිස් සිතෙහි හටගන්නා ඕනෑම සිතිවිල්ලක් වේවා සාමාන්‍ය මිනිසා නොදකින දෘෂ්ඨිකෝණයන්ගෙන් සමාජයේ ප්‍රගමනය හෙවත් ඉදිරි ගමනට වැඩදායක ලෙස රසවත්ව ඉදිරිපත් කිරීම වූ කලී කවියයි.


කවියක පවතින විශේෂ ගුණාංග හරහා කවියක් යනු කවරාකාර නිර්මාණයක් දැයි දළ වශයෙන් හඳුනා ගැනීමට හැකි ය. ඒ අනුව කාව්‍යාලංකාර ලක්ෂණවලින් යුක්ත වූ රසවත් හැගීම් උද්දීපනය කරනු ලබන හා ඒ මතින් ජීවන පරිඥානයක් ඇති කරනු ලබන පද්‍ය නිර්මාණය කවිය ලෙස හඳුනාගත හැකිය.


කවියා යනු කවරෙක් ද ? 


ලෝකය හා සමාජය ද එහි සිදුවන දෑ ද තත්ත්වාකාරයෙන් දැක, ඒ පිලිබඳ ගැඹුරින් සිතා, තම සුවිශේෂී හැකියාවන් තුළින් රසවත්ව හා අර්ථවත්ව කාව්‍ය නිර්මාණ හරහා රසිකයාගේ වින්දනය හා දැනුම පුළුල් කරන්නේ කවියායි. කවියෙකු සැබවින්ම ලෝකය දෙස අලුතින් බලන්නෙකි. ඔහු නිතරම අලුත් වන්නෙකි. නොවටිනා දෙයකැයි සෙස්සන් විසින් අත්හරිනු ලබනු දෙයකින් පවා වටිනා අරුතක් ගෙනහැර පෑමට ඔහුට හැකියාවක් ඇත.


ඔබට කවිය යනු කුමක්ද? කවියා යනු කවරෙක්ද යන්න පිළිබඳව දළ අදහසක් මේ වනවිට ලැබෙන්නට ඇති. එසේනම් කවියට අතපොත් තබන ඔබ ආධුනික කවියෙකු කිවිඳියක ලෙස සිතට ගත යුතු වටහාගතයුතු සහ ධාරණය කරගතයුතු මූලිකම කරුණ වන්නේ ඔබ මේ සමාජය යහපත් දිශානතියකට රැගෙන යාමේ පෙරගමන්කරුවකු වීමට සූදානමින් සිටින බවය. ඒ සඳහා කවි පෙරහරෙහි කසකරුවෙකු වීමට සූදානමින් සිටින බවය. සැබවින්ම ඔබ කවියෙකි. අළුතින් සිතන්නට හැකි ඔබ හදවතෙහි කවිය නම් වූ අවිය ඇත. කළ යුත්තේ එය මුවහත් කිරීම පමණි. ඒ සඳහා ඇවැසිවන්නේ නිවැරදිව කවියක තිබිය යුතු ලක්ෂණයන් අලංකාරයන් පිළිබඳව උගෙනීම සමගින් නිරන්තර පුහුණුව හෙවත් සත්තාභ්‍යාසය පමණි. ඉඳින් අපි උගෙනිමු.......... 


පෙරමඟ ගමන සරසවි හා කසාදෙට

යහමඟ යවනු රිසි කිරණත උදාකොට

හරි මඟ යමින් කවියෙකු ලෙස කලාවට

හිණිමඟ තනමු අපි කවියෙන් සමාජෙට


===❤️ ජීවන සරසවිය ❤️=== ඩී .ආර්. ජගත් කුමාර===

මතක