දෙවන කොටස
###########
පසුගිය සටහනින් ඔබ කවිය යනු කුමක්ද? කවියාගේ සමාජමය කාර්‍යභාරය කුමක්ද? යන්න පිළිබඳව දළ අදහසක් ලැබෙන්නට ඇති. අද එතැන් සිට..........
ලෝකයේ ඕනෑම ප්‍රපංචයක් විවිධ වූ වර්ගීකරණයට ලක් වනවා සේම කවිය සහ කවියාද වර්ගීකරණයට ලක් වේ. කවිය වර්ගීකරණයේදී කවියේ ස්වභාවය මතත්, කවියා වර්ග කිරීමේදී ඔහුගේ දක්ෂතාවය මතත් වර්ගීකරණයට ලක් වේ.
හෙළ කවිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
01. චූල සම්ප්‍රදායයේ කවි
02. මහා සම්ප්‍රදායයේ කවි
චූල සම්ප්‍රදාය
*************
මේවා ඉතාම සරල ඝණයේ කවි වේ. එකම කවිය තුළ සරල වාක්‍ය ඛණ්ඩයන් කිහිපයක් දක්නට හැකිය. පද එකින් එක වියුක්තව පවතින අතර බොහෝවිට ජනකවි මෙම සම්ප්‍රදායට අයත් වේ. කාව්‍යකරණය පිළිබඳව දැනුමක් නොතිබුණු ගැමියා තම සිතේ පවතින අදහස් ප්‍රීතිය, දුක, භක්තිය වේවා මොනම ආකාරයේ හැඟීමක් වුව වරෙක තම පාළුව කාන්සිය මගහැරවීම උදෙසාද සිතට නැගි ආකාරයෙන් සිවුපදයට නැගීය. එනිසාවෙන්ම මෙම කවි තුල ප්‍රබුද්ධ ලක්ෂණ දකින්නට නොලැබිණ. වර්තමාන හිටිවන කවියද මෙම ඝණයට අයත් වේ.
* කරත්ත කවි
තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා
* පාරු කවි
ඔන්න මගේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාධුකාර දී ඔරුවක නැගී වරෙන්
* පතල් කවි
ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කල පවට
යන්නේ කවදාද මවුපියො දකින්නට
* පැල් කවි
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ
හොඳින් නිරීක්ෂණය කර බලන්න. මෙම සෑම කවියකම පද හතරෙන් අරුත් හතරක් නැතහොත් වාක්‍ය ඛණ්ඩ හතරක් ඔබට දිස්වනු ඇත. මේ ආකාරයේ කවි චූල සම්ප්‍රදායේ කවි ලෙස දැක්වේ.
මහා සම්ප්‍රදාය
**************
මහා සම්ප්‍රදායට අයත් කවි තුළ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණය වනුයේ මෙම කවියේ පද අතර වියුක්තවීමකින් තොරව අඛණ්ඩ සම්බන්ධතාවයක් පැවතීමයි. එමෙන්ම මුළු පැදිය පුරාම දක්නට ලැබෙනුයේ එකම වාක්‍ය ඛණ්ඩයක් පමණි. එමෙන්ම මෙම කවි කාව්‍ය අලංකරණ ලක්ෂණයන්ගෙන් පොහොසත් නිසාවෙන් චූල සම්ප්‍රදායයේ කවි වලට වඩා රසවත් බවකින් සහ අර්ථයෙන්ද පරිපූර්ණය.
* සැළලිහිණිය
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති දිය ගිලි තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගංතොටින්
(තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)
* ගුත්තිලය
අඳ මවුපිය දෙදෙන
ඔහු වයන බව නොමදැන
කතී වෙණ මීයෙන
සු සූ යැයි අත ගැසූ සැකයෙන
( වෑත්තෑවේ හිමි)
* අයියනායක
සංහිඳ ලඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
කොළ අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම
( විමලරත්න කුමාරගම )
* මගේ රට
තෝපා තඹලගම මිණිපේ මින්නේරී
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරී
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේරී
මගෙ ලක් මෑණියන්දෑ හරි පින්කාරී
( පී. බී. අල්විස් පෙරේරා )
* කොවුල් සංදේශය
රළින් දමන සිඳු සක් මුතු වෙළල මුව
දොලින් රැගෙනැ කෙළිනා පැටි ලිය සුමුව
පළින් පළ මැ ඉඳැ නරඹා සිත් යොමුව
තිළින් දිනත වදු ලැගුමට තොටුගමුව
( තිලක පිරුවන් හිමි )
කවිය වර්ග කිරීමේ පිළිවෙත අනුව එය චූල සම්ප්‍රදායට අයත්ද නෙඑසේනම් මහා සම්ප්‍රදායට අයත්ද යන්න මේ නිදර්ශන ඇසුරින් ඔබට තේරුම් ගැනීමට හැකිවනු ඇත. එසේනම්, කාව්‍යකරණය හදාරා ඔබගේ මාවත මහා සම්ප්‍රදායේ කවියද, සරල පහසු එතරම් දුෂ්කර නොවන චූල සම්ප්‍රදායේ කවියද යන්න තෝරාගැනීම ඔබ සතුය.
කවියා
******
කවියාද කවියාගේ ශක්‍යතාවයන් අනුව වර්ගීකරණයට ලක් වේ. අප මහා තථාගතයාණන් වහන්සේ අංගුත්තර නිකායෙහි චතුක්ක නිපාතයෙහි කවියා පිළිබඳව දේශනා කර ඇත්තේ මෙසේය.
චතතාරො භිකඛවේ කවි
කතමෙ චතතාරො චින්තා කවි
සුත කවි අතථ කවි පටිභාන කවි
ඉමෙ ඛො චතතාරො කවීති
මේ අනුව කවීන් වර්ග හතරකි.
01. චින්තා කවි
02. සුත කවි
03. අත්ථ කවි
04. පටිභාන කවි
1. චින්තා කවි
කවියාගේ චින්තන ශක්තිය මෙහෙයවමින් අදාල ප්‍රපංචය පිළිබඳව තර්ක විතර්ක කරමින් ගොඩනගන කවි මෙම ඝණයට වැටේ.
2. සූත කවි
අනෙක් කවීන්ගේ නිර්මාණ ඇසුරු කරමින් හෝ අනුකරණය කරමින් නවතාවයක් නොමැතිව ගොඩනගන කවි සූත කවි නැතහොත් "ශ්රෝත" ඝණයට අයත් වේ
3. අත්ථ කවි
ඇසට පෙනෙන ප්‍රපංචයන් අරමුණු කරගෙන ඒ ඇසුරින් ගොඩනගන කවි මෙම කුලයට අයත් වන අතර එහි සිතීමට හෝ අර්ථ විග්‍රහ කිරීමට දෙයක් නොමැතිය.
4. පටිභාන කවි
ඇසට නොපෙනෙන යම් දෙයක් පිළිබඳව තම සිතෙහි පහලවන්නා වූ සිතිවිලි රසික සිත තුළ ඒ ආකාරයෙන්ම චිත්ත රූප මැවෙන ආකාරයෙන් ගොඩනගන කවි මේ කුලයට අයත් වන අතර මේ සඳහා ඉහල චින්තන ශක්තියක් තිබිය යුතුවාක් මෙන්ම නිතර අභ්‍යාසයේ යෙදෙමින් පුරුදු පුහුණු කළ යුතුය.
කවියක් නිර්මාණයට පෙර වස්තු භූත වන අරමුණ හෝ සිදුවීම එසේත් නොමැතිනම් ප්‍රපංචය ඉතාම වැදගත් වේ. එමෙන්ම තම සිතෙහි හටගන්නා සිතිවිලි එළෙසින්ම කවිය තුල එබ්බවීමට කවියා සමත් විය යුතුය. මක් නිසාදයත් එය නිවැරදිව කවිය තුල ප්‍රකාශ නොවනවිට එම කවිය අසම්පූර්ණ වේ. මෙහිදී බස පිළිබඳව ඇති දැනුම අතිශයින්ම වැදගත්ය.
නිමකර කවි ලොවෙහි යාමය ගිම්හාන
මල් පල පුබුදු කර ළඟ එන වස්සාන
සරසවි ළමැද කිරි බී තෙද වඩවාන
කවියෙකු වෙනු මැනවි හෙළයට පටිභාන
ලබන සතියේ නැවතත් මෙලෙසින්ම හමුවෙමු.....🙏🙏
===❤️ ජීවන සරසවිය ❤️===ඩී .ආර්.ජගත් කුමාර
No comments:
Post a Comment