කවියක සවිය 3



මේ වනවිට අපි මූලික වශයෙන් සඳැස් කවිය යනු කුමක්දැයි හඳුනා ගත්තෙමු. අද එතැන් සිට..


කවිය සහ කාව්‍ය රීති

**********************

සඳැස් කවිය තුල රීති පද්ධතියක් ඇත. මූලික වශයෙන්ම මාත්‍රා, එළිවැට, යතිය, එළිසමය, යවහන් දෝෂය, දශමහ දෝෂයන් සහ කාව්‍ය අලංකරණයට අදාල වූ යම් යම් රීතීන්ද ඇතුළුව විසල් පරාසයක මෙය විහිදී ඇත. මෙම කරුණු පිළිබඳව මනාව තේරුම් ගැනීම නිවැරදි කවියකට මග හෙළි කරනු ඇත.


මාත්‍රා

*****


මාත්‍රාවක් යනු ඇසිපිය ගසන ක්ෂණයක කාලයකි. එනයින් මාත්‍රාවක් යනු පිල්ලමක් ලෙසද හැඳින්වේ. හල් අකුරක ඇත්තේ මාත්‍රා බාගයකි. දීර්ඝව ශබ්ද නොවන ස්වරයන් ලඝු වන අතර දීර්ඝව ශබ්ද වන ස්වරයන් ගුරු නම් වේ. සංස්කෘත භාෂාවෙහි දීර්ඝ අක්ෂරයකට වඩා ඇදලා කියවන අකුරුවලට ප්ලූත යැයි කියනු ලබන අතර මෙයට අක්ෂර රූපයක් නොමැතිය. ඒ ශබ්ද කිරීමේ කාලය අනුව පවතී. දුර සිටින්නන්ට කතා කිරීම, ඇඬීම සහ ගායනයේදී ව්‍යවහාර කරනු ලැබේ. භ්‍රසවයක් නොහොත් ලඝුවක් ශබ්ද කිරීමට ගතවන කාලය මාත්‍රාවකි. දීර්ඝ ස්වරයක් නැතහොත් ගුරක් ශබ්ද කිරීමට ගතවන කාලය මාත්‍රා දෙකකි. එය ප්ලූතයකට මාත්‍රා තුනකි.


ව්‍යංජනයක් නොහොත් හල් අකුරක් එක්වන ස්වරය අනුව එහි ලඝු ගුරු තීරණය වේ.


* ලඝු


අ, ඇ, ඉ, උ, එ, ඔ, යන ස්වරයන් සහ එම ස්වරයන් ව්‍යංජනයක් සමග එක් වීමේදී සෑදෙන රූපකය භ්‍රසවයක් නොහොත් ලඝුවක් වේ. උදාහරණ ලෙස මෙම ස්වරයන් "ක්" යන ව්‍යංජන අක්ෂරය සමග සම්බන්ධ වීමේදී සෑදෙන අක්ෂර පිළිබඳව සලකා බලමු.


ක් + අ = ක

ක් + ඇ = කැ

ක් + ඉ = කි

ක් + උ = කු

ක් + එ = කෙ

ක් + ඔ = කො


මෙම අක්ෂර දීර්ඝව ශබ්ද නොවේ. එනයින් මෙම ශබ්දවලට ඇත්තේ එක් මාත්‍රාවක් පමණි. එමනිසා, මෙලෙස වරනැගෙන සියළුම කෙටි අක්ෂර රූපයන් ලඝු අකුරු ලෙස හඳුන්වනු ලබයි.


* ගුරු


දීර්ඝව කියවෙන ස්වරයන් සහ එම ස්වරයන් හල් අකුරක් හා සම්බන්ධ වීමෙන් සෑදෙන අක්ෂරවලට අපි ගුරු යැයි කියමු. ආ, ඈ, ඊ, ඌ, ඒ, ඕ  යන ස්වර "ක්" යන ව්‍යංජන අක්ෂරය හා සම්බන්ධ වන අයුරු විමසා බලමු. 


ක් + ආ = කා

ක් + ඈ = කෑ

ක් + ඊ = කී

ක් + ඌ = කූ

ක් + ඒ = කේ

ක් + ඕ = කෝ


මෙම අක්ෂරයන් ඇදලා කියවිය යුතු වන අතර එම දීර්ඝ බව නිසාවෙන් මේවා ගුරු අක්ෂරයන් වන අතර කියවීමේදී මාත්‍රා දෙකක කාලයක් ගනී. මෙසේ දීර්ඝව වරනැගෙන අක්ෂරයන් ගුරු අක්ෂර ලෙස හඳුන්වනු ලබයි.


* හලන්ත ගුරු


හල් අකුරකට ඇත්තේ මාත්‍රා බාගයකි. එය ලඝු අක්ෂරයක් අගට  සම්බන්ධව වරනැගෙනුයේ, හල් අක්ෂරයක් නොඑසේනම් මළකුරක් තනිව වරනැගිය නොහැකි නිසාවෙනි. මෙලෙස එක්වන අකුරු ද්විත්වය හලන්ත ගුරු ලෙස හඳුන්වනු ලබයි. මෙලෙස එක්වන අක්ෂර ද්විත්වය තුළ ඇත්තේ මාත්‍රා එකහමාරක් වුවද එය මාත්‍රා දෙකක් ලෙසට ගනන් කරනු ලැබේ. 


උදාහරණ :-  අත්, මල්, ගල්, සිල්, දැල්, පොල්, හෙල් 


ශුද්ධ සිංහලයෙහි බිංදුව, ඤ් ණ්,න්,ම් යන ව්‍යංජනයන්ගේ බාගයන් ලඝුවක් හා සම්බන්ධ වූවිට එය ගුරක් ලෙස නොගැනේ.


උදාහරණ ලෙස


ඞ යන්නෙහි බාගය + ග = ඟ

ඤ් යන්නෙහි බාගය + ජ = ඦ

ණ් යන්නෙහි බාගය + ඩ = ඬ

න් යන්නෙහි බාගය + ද = ඳ

ම් යන්නෙහි බාගය + බ = ඹ


මෙවැනි අවස්ථාවන්හිදී එම අක්ෂරයන්ගේ ඇදෙන ස්වභාවයන් නොමැති බැවින් ලඝු ලෙසටම මාත්‍රා එකක් ලෙසින් ගනන් කරනු ලැබේ. එමෙන්ම සිංහල බසෙහි අක්ෂර සංයෝජනය සිදුවනුයේ තම වර්ගයේම අක්ෂර සමග පමණකි. (ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය - නම් වූ අක්ෂර වර්ගයන් පිළිබඳව පසුව ඉගෙනගනිමු.)


සඳැස් කවියක් යනු යම් රිද්මයකට ගායනා කළ හැකි රචනයක් නිසාවෙන් මාත්‍රා පිළිබඳව සැළකිලිමත්වීම අත්‍යාවශ්‍ය කරුණකි. සිවුපද කවියක සෑම පාදයකම මාත්‍රා ගණන සමාන විය යුතුය. සිවුපදයක පළමු සහ තෙවන පාද (පේලි) විෂම පාද ලෙසත් ද්විතීයික සහ සිවුවන පාද (පේලි) සමපාද ලෙසත් සලකනු ලැබේ. එමෙන්ම මෙම මාත්‍රා පිහිටීම අනුව සඳැස් කවිය ඡන්දස් හා වෘත්ත අනුව විභාග කර ඇතත් ඒ පිළිබඳව විස්තර කිරීම පසුවට තබමි. 


උදාහරණ


සෙවණැලි මියෙන විට ගත රැඳි වෙහෙස    නිවා

අඹරෙහි කැකුළු තරු හිනැහුනි දෙනෙත පොවා

සුදු මුදු වලා කැටි අතරෙහි වෙමින               මුවා

දුටුවෙද සඳවතිය දිලිසෙනු කිරණ               දොවා


සෙවණැලි - ලඝු හතරකි. මාත්‍රා 4

මියෙන විට - ලඝු පහකි - මාත්‍රා 5

ගත රැඳි - ලඝු හතරකි - මාත්‍රා 4

වෙහෙස - ලඝු තුනකි - මාත්‍රා 3

නිවා - ලඝු 1, ගුරු 1 - මාත්‍රා 3


එවිට පාදයේ සම්පූර්ණ මාත්‍රා ගණන දහනවයකි. මේ ආකාරයට ගණනය කර බලන්න. සෑම පාදයකම මාත්‍රා දහනවය බැගින් තිබෙනු ඔබට දැකගත හැකිය. 


 කවියක පද පෙළෙහි  මාත්‍රා ගණන උපරිමය මේ යැයි නිශ්චිත නොවූවද මාත්‍රා 32ට වඩා දිගු කවි විරලය. එයට හේතුව ගායනා කිරීමේදී ඇති අපහසුතාවය විය හැකිය.


නමුදු මෙම සෑම පෙළකටම පොදු වශයෙන් සමාන මාත්‍රා ගණනක් වූ රටාව අතික්‍රමණය කල අවස්ථාවන්ද අපට දැකගත හැකිය.


උදාහරණයක් ලෙස වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය පුරා මෙය දැකගත හැකිය.


බරණැස් නුවර                         සිට

උදේනි නම්                          නුවරට

පුරා බඩු ගැල්                            පිට

රැගෙන ගියෙ වෙළෙඳු වෙළදාමට 


අඳ මව්පිය                  දෙදෙන

ඔහු වයන බව නොම     දැන

කතී වෙණ                   මීයෙන

සු සූ යයි අත ගැසූ සැකයෙන


බලන්න, පළමු සහ තෙවන පද පෙලෙහි මාත්‍රා ගණන නවයකි.  දෙවන පෙළ සහ අවසන් පෙළ මාත්‍රා එකොළසකින් සහිත  දහහතරකින් සමන්විතය. මෙය පිහිටි නම් ඡන්දසට අයත්ය.


අමුණන විටදි සිවුපදයට පෙළ            අකුරු 

දැනගත යුතුය සම මත් එක්කළ          අයුරු

එලෙසට නොවන කල ගැයුමට වෙයි හතුරු

සැමවිට ලියනු පද සරසවියට              මිතුරු


තවත් කොටසකින් නැවත හමුවෙමු.


===❤️ ජීවන සරසවිය ❤️===ඊ.ආර්. ජගත් කුමාර ==

No comments:

Post a Comment